Wednesday, July 20, 2016




1980 දී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප‍්‍රඥප්තියට අත්සන් තබා,තොරතුරු ලබා ගැනීමේ නිදහසට තිබෙන අයිතිය පුරවැසියන්ට ලබා දීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව සහතික වී ඇතත්,අපට එම අයිතිය ලැබෙන්නේ ඉන් වසර 35 කට පසු, 2015 දීය.ඒ පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩනැගී තිබෙන මෙම වකවානුව තුළ, කතිකා විශේෂාංගය තුළින් ඒ සඳහා සුදුසුම පුද්ගලයා මුණගැසුනා.

'' ශ‍්‍රී ලාංකේය මාධ්‍ය මුල්පොත'' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහුගෙන් ලාංකේය ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ ගුරුහුරුකම් නොලැබූ කෙනෙකු නොමැති තරම්ය. ඔහු කලාකීර්ති එඞ්වින් ආරියදාස මහතා.මේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පිළිබඳ ව ඔහු හා අප කළ කතාබහ


  • අද ලෝකයේ ක‍්‍රියාත්මක වන මාධ්‍ය නිදහස පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

 මාධ්‍යයේ ස්වභාවයට අනුව පුවත්පතක් ගත්තම, ලෝකයේ සිදුවීම් විසිලක්ෂයක් සිදුවූවා යැයි අපි හිතමු. නමුත් මේ සිදුවීම් සියල්ලම පුවත්පතකට දාන්න බෑ. එනම් පත්තරයක් ගත්තම සර්ව සම්පූර්ණයෙන්ම මාධ්‍ය නිදහස සීමා වෙනවාමයි. කිසිම කෙනෙකුට ඊට පටහැනිව යන්න බෑ. පුවත්පතක් ගත්තොත් එහි මාධ්‍ය නිදහස භාෂාව අතින්, කතෘගේ පැත්තෙන් රාජ්‍ය දෘශ්ටි නැඹුරුව, පුවත්පතේ ඉඩකඩ මානව වර්ගයා යන කරුණු නිසා සීමාවකට ලක් වෙනවා.

උදාහරණයක් ගත්තොත්, ලෝකයේ විශාලම පිටු ගණන තියෙන පත්තරේ තමයි ඇමෙරිකාවේ Newyourk Times .එහි  ඉරිදා පත්තරය රාත්තල් 16 ක් බරයි. ඔවුන්ගේ උද්යෝග පාඨය තමයි ‘‘මුද්‍රණය කරන්න සුදුසු සියලූම පුවත් අපි මුද්‍රණය කරනවා’’ ( All The News That To Print)

නමුත් ලෝකයේ වෙන හැම සිදුවීමක්ම පුවත්පතකට ඇතුලත් කරන්න බෑ. ඒනිසා පුවත්පතක නිදහස කියන්නේ මිථ්‍යාවක් ලෝකයේ සිදුවීම් විසි ලක්ෂයක් සිදුවුවහොත් මේ සිදුවීම් සියල්ලම පුවත්පතකට දාන්න බෑ. කිසිම කිසි ආකාරයක යථාතත්ත්වවාදී ව ලෝකය දිහා බලනවා නම් කිසිම කිසි මාධ්‍ය ආයතනයකට පූර්ණ නිදහසක් නෑ. ඒ නිසා මාධ්‍ය නිදහස කියන්නේ එක්තරා මනෝ මූලික සංකල්පයක් මිස සර්ව සම්පූර්ණ යථාතත්ත්වවාදී සංකල්පයක් නොවේ.


  • ඔබතුමා හිතන විදියට තොරතුරු දැනගැනීමේ අයිතිය කියන්නේ මොකක්ද?

කවර රාජ්‍යයක වුවත් පළමුවෙන්ම එකට එකතු වී සාකච්ඡා කිරීමේ නිදහස, කරුණු දැනගැනීමේ නිදහස, කැමති ආගමක් ඇදහීමේ නිදහස සහ භාෂණයේ ප‍්‍රකාශනයේ නිදහස යන කරුණු ව්‍යවස්ථාව මගින් අනුමත කරනවා. නමුත් ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුගත නොවී මාධ්‍ය අමාත්‍යංශ ප‍්‍රඥප්තියක් වශයෙන් මෙය ඉදිරිපත් වෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් තුළ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ මහජනතාවටයි. මහජනයා සිය ඡන්ද බලය මඟින් කලින් කලට තෝරා පත්කරගන්නා පාලන පක්‍ෂවල ට ඇත්තේ භාරකාර බලයක් පමණයි. තමන් තෝරා පත්කරගන්නා භාරකාරයන් ඔවුන් වෙත පැවරී තිබෙන එම භාරකාර බලය දූෂණයෙන් තොරව ඵලදායී ලෙස පරිහරණය කරන්නේද යන්න පුරවැසියන් වන මහජනතාවට දැනගැනීමට හැකිවන්නේ අදහස් පළකිරීමේ අයිතිය සමඟ තොරතුරු දැනගැනීමේ අයිතිය ඔවුනට ඇත්නම් පමණයි.


  • සමාජයට තොරතුරු දැනගැනීමේ පනතක අවශ්‍යතාවය මතුවන්නේ ඇයි?
රජයක් නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදලින්. රටේ අයිතිකාරයන් වන්නේ ජනතාවයි. රට පාලනය කරන දේශපාලනඥයින් තමයි ඒ රටේ සේවකයින්. ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය කියන සංකල්පය බිහිවෙන්නේ රටේ අයිතිකරුවන්ට සේවකයින් කරන දේ දැනගැනීමට තිබෙන අයිතිය මතයි. මෙතෙක් කාලයක් පැවතුණේ ඒකපාර්ශවීය මාධ්‍ය නිදහසක්. ඒ අනුව සමාජයට තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාව මතු වන්නේ, තොරතුරු දැන ගැනීමේ අයිතිය ඒකපාර්ශවීය මාධ්‍ය නිදහසක් පමණක් නොවන නිසයි.


  • ඔබ පැහැදිලි කරා සමාජයට තොරතුරු පනතේ වැදගත්කම.විශේෂයෙන් ජනමාධ්‍යවේදියාට තොරතුරු දැනගැනීමේ පනත වැදගත් වන්නේ ඇයි?

ගවේෂණාත්මක තොරතුරු ලබාගන්නට කාලයක් ගතවෙනවා.ජනමාධ්‍යවේදියාට සක‍්‍රීය ලෙස ක‍්‍රියාත්මකවෙන්න බොහෝ කැපකිරීම් කරන්න වෙනවා.ඇතැම්විට රහසිගත කැමරා වැනි උපකරණ භාවිතා කරන්නත් වෙනවා.ජනමාධ්‍යවේදියාට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත උපයෝගී කරගනිමින් ප‍්‍රබල ලෙස බලධාරීන්ගේ අක‍්‍රමිකතා ප‍්‍රශ්න කරන්න හැකියාවක් තියෙනවා.


  • අත්දැකීම් සහිත රටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයකින් පසුව හෝ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත වීම ගැන ඔබතුමා මොනවද හිතන්නේ?
''Right To Information'' කියන දෙයින් තහවුරු වෙනවා ජනමාධ්‍යවේදීන්ට විතරක් නෙමෙයි පොදු මහජනතාවටත් තොරතුරු ලබාගැනීමට අයිතියක් ඇති බව. මොකද, මානව සමාජයෙන්ම තමයි ''Right To Information''සංකල්පය බිහි වන්නේ. මේ අනුව ප‍්‍රකාශන භාවිතා කරන පාඨකයාටත් පේ‍්‍රක්ෂකයාටත් මේ පිළිබඳ යම් නිදහසක් හිමිවෙනවා. ඒ නිසා තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීම හොඳයි.

විවිධ දේශපාලන කාරණා නිසා පසුගිය ආණ්ඩු මේ සම්බන්ධ දේවල් එළියට ගත්තෙ නෑ. නමුත් මේ ආණ්ඩුව මේ පිළිබඳ කතා කිරීම පැසසුමට ලක්කළ යුතුයි.


  • 5(1) උපවගන්තිය මඟින් සදහන් කර ඇති ව්‍යතිරේඛ දොළහ ඇතුළත ඇතැම් කරුණු සම්බන්ධව තොරතුරු ලබා දිය යුතු නැති බව සඳහන් වෙනවා.නමුත් මහජන බැඳියාවේ වැදගත්කම එම තොරතුරු හෙළිදරවු කිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු ප‍්‍රතික්ෂේප නොකර ලබා දිය යුතුයි.මේ මහජන බැඳියාව තක්සේරු කරන්නෙ කොහොමද?
''Right To Information'' කියලා සංකල්පයක් ඇති කර ගන්නේ, රාජ්‍යයේ ස්ථාවර සාමය වගේම මිනිසුන්ගේ ස්ථාවර සාමයක් පවත්වාගෙන යන්න.

උදාහරණයක් විදියට ගත්තොත්, මිනිසුන් රටේ අවි ගබඩා ඇති තැන් දැනගත්තොත් රාජ්‍යයට හානියක් කරන්න ඔවුන් පෙළඹෙන්න පුළුවන්.

මෙය ඉතා වැදගත් නම්‍යශීලී හා ප‍්‍රගතිශීලි වගන්තියක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි වැඩියෙන්ම අවධානය යොමු කර තිබෙන්නේ පුරවැසි ජනතාවගේ මහජන බැඳියාවන්ගේ වැදගත්කම ගැනයි. ඒ නිසා මේ වගන්තියෙන් මහජන බැදියාව හා මහජන සුභසිද්ධිය උදෙසා අදාළ කරුණු හෙළිදරව් කරන්න නෛතික පදනමක් ලබාදි තිබෙනවා.


  • රාජ්‍ය හෝ අර්ධ රාජ්‍යයක ආයතන මඟින් මහජනයා වෙත ඉල්ලා සිටින තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කරයි නම්,පුරවැසියා විසින් ගත යුතු ක‍්‍රියාමාර්ගය කුමක්ද?

තොරතුරු නිලධාරියාගෙන් තොරතුරු ඉල්ලා සිටින පුරවැසියකුට, එය ඉටු නොවන අවස්ථාවකදීත 31 (1) උපවගන්තියට අනුව අභියාචනා කරන්න පුළුවන්. එලෙස ඉටු නොවූ අවස්ථාවක එය සිදුවූ මොහොතේ සිට දින 14 ක් ඇතුළත අදාළ ආයතනයේ නම් කළ නිළධාරියාට අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එය භාරගත් බවට දින 3 ක් ඇතුළත කුවිතාන්සියක් නිකුත්කළ යුතුයි. එයද සාධාරණව සිදුනොවුනහොත් (32) 1 (අ) හා (ආ) වගන්තීන්ට අනුව පුරවැසියාට මාස 02 ක් ඇතුළත දී ඊට එරෙහිව කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකියි. යම් ලෙසකින් කොමිසම් සභාව ලබාදෙන තීරණයටත්, පුරවැසි පාර්ශ්වය අතෘප්තිමත් නම් ඊට එරෙහිව දින 14 ක් ඇතුළත අභියාචනාධිකරණයට, 34(1) උප වගන්තිය අනුව අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්.

එවැනි පුරවැසියන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කරන, වැරදි තොරතුරු ලබාදෙන නිලධාරීන්ට එරෙහිව නෛතික ප‍්‍රතිපාදන යටතේ දඬුවම් කරන්න පුළුවන්.


  • 5(1)(අ) වගන්තිය මගින් තනි පුද්ගලයෙකුගේ පෞද්ගලික තත්ත්වය අනවසරයෙන් හෙළිදරව් කිරිම් වළක්වා තිබෙනවා.මේ මඟින් රාජ්‍ය ආයතන බලධාරීන්ගේ තොරතුරු පවා ලබා නොදී මග හරින්නට හැකියාව තිබෙනවා මේ පිළිබඳ ඔබතුමන්ගේ අදහස කුමක්ද?

එවැනි අවස්ථාවකදී පුරවැසියාට පත් කරන ලද නිලධාරියාව හෝ කොමිසමට හෝ අධිකරණයට හෝ අභියාචනා කර තොරතුරු ලබාගැනීමට සිදුවෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතේ 3 වන කොටසේ අඩංගු වන්නේ අමාත්‍යවරුන්ගේ සහ පොදු අධිකාරිවල යුතුකම් ගැනයි. පනතේ 7,8,9,10 වගන්තිවල මේ පිළිබඳව පැහැදිලි වෙනවා.

මේ යටතේ තමත් සතුව පවතින සියලූ තොරතුරු ස්වේඡාවෙන්ම මාධ්‍ය ඔස්සේ මහජනතාව ඉල්ලීමට පෙර, ජනගත කිරීමට අදාළ විෂය භාර අමාත්‍යවරුන් හා බලධාරීන් පොළඹවනු ලබනවා.


  • තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හා කොමිෂන් සභාව අතර සම්බන්ධතාව මොනවගේද?

ජනතාවගෙන් බේරෙන්න පත් කරපු දෙයක් තමයි කොමිෂන් සභා කියන්නේ.කොමිෂන් එකෙන් තමයි අපි අවශ්‍ය වාර්තා ඉල්ලන්නේ.එයාලට හැකියාව තියෙනවා අපිට  ඕන දේ ගෙනල්ලා දෙන්න.

නමුත් හැම කාර්යාලයකටම මේක ප‍්‍රායෝගික වශයෙන් ක‍්‍රියාත්මක කරන්න බෑ.ඒ නිසා හැමෝටම යොමු විය හැකි බලසම්පන්න බල කාරකයෝ මේ කොමිෂන් සභාවලට පත් විය යුතුයි.ඒ නිසා මේ කි‍්‍රයාව ඇත්තටම හොඳයි.

  • මේ පනතත් එක්ක රාජ්‍ය ආයතන පද්ධතියට පැවරෙන වගකීම් මොනවාද?

අපේ රාජ්‍ය ආයතන පද්ධතිය මේ සමග විවෘත වෙන්න ඕනා.රජයට සම්බන්ධ සියලූම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු,සංස්ථා,මණ්ඩල ආදී සෑම ආයතනයකටම දැනට ක‍්‍රියාත්මක ව්‍යාපෘති ආදිය ගැන ස්වේඡාවෙන් තමන් විසින්ම තොරතුරු හෙළිකරන්න වෙනවා.

පොදු මහජනයා ඉල්ලූම්කරන තොරතුරු ලබාදෙන්න සිද්ධ වෙනවා.ඒ වගේම අදාළ ආයතනයේ වෙබ් අඩවි හරහාත් තොරතුරු හෙළිදරව් කරන්න ඕන.ඒ අනුව රාජ්‍ය ආයතන පද්ධතියට වැඩි වගකීමක් පැවරෙනවා.


  • මෙම තොරතුරු පනත යථාර්ථයක් බවට පත් කරන්න කළ යුත්තේ කුමක්ද?

පළමුවෙන්ම මෙම පනත ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කළ යුතුයි. ඒවගේම මේ පනත සම්මත වෙලා මාස 06 ක් තුළ පනත මගින් ඇති කරන ආයතන පද්ධතිය ඇතුළු සමස්ත ක‍්‍රියාදාමයම ජනතාවට තොරතුරු පහසුවෙන් ගන්න සකස්කරන්න  ඕන. සෑම රාජ්‍ය ආයතනයකම තොරතුරු නිලධාරියෙක් පත් කළ යුතුයි. පුහුණු කළ තොරතුරු පහසුවෙන් ලබාදීම මෙන්ම තොරතුරු ගබඩා කර සුරක්‍ෂිතව තබා ගැනීමත් විය යුතුයි.
මෙම පනත යථාර්ථයක් කිරීමේ වගකීමෙන් වැඩි කොටසක් පැවරෙන්නේ සමස්ත සමාජයටයි. රජය පාර්ශවයෙන් කළ හැකි ප‍්‍රමාණය සීමාසහිත නිසා අපේ පුරවැසි සමාජය බලවත් වෙන්න  ඕන. මේ පනත ජනතාව අතරට ගෙන යන්න වැඩසටහන් රාශියක් කළ යුතුයි.


  • මෙහි ප‍්‍රායෝගික උපයෝගීතාවය පිළිබඳ පැන නැඟී ඇති ගැටලූ ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ඔබ දකින්නේ කෙසේද?

න්‍යායයක් මෙන් ම සංකල්පයක් වශයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත වුණාට මදි.ප‍්‍රඥප්තිය එක්කම ක‍්‍රියාත්මක කිරීමේ යාන්ත‍්‍රණය තියෙන්න ඕන.එම යාන්ත‍්‍රණය අපේ පනතේ සර්ව සම්පූර්ණව දක්වලා නෑ.විශේෂයෙන්ම ඇ.එ.ජ. වගේ රටවල ප‍්‍රවෘත්ති සංරක්ෂණය,ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර ගබඩා සකස් කිරීමේ ක‍්‍රමානුකූල ආකාර තියෙනවා.ඒ වගේම Online තොරතුරු ලබාදෙන ප‍්‍රවෘත්ති නිෂ්පාදකවරු ඉන්නවා.අන්න ඒ නිසයි මම කියන්නේ අපේ රටවල ක‍්‍රියාත්මක කරන්න අවශ්‍ය යාන්ත‍්‍රණය නෑ කියලා.කොහොම වුනත් මම පෞද්ගලිකවම මේ පනතේ දෝෂ බොහොමයක් දකිනවා.
                                           
                                                                              සටහන;

                                                                                                       කේ.කේ.එන්. නිශාදිනී
                
                                                                                                        ජේ.එච්.එම්.ටී. සදරේඛා
                   
                                                                                                        එම්.එම්.සී. කුරේ  
                          
                                                                                                        ඞී.කේ.එන්.එස්. කළුආරච්චි   
           
                                                                                                        එස්.එම්.ඞී.ජේ.එන්.සෙනෙවිරත්න      
                                                                                               


                                                                                                

Monday, July 18, 2016

මිනිසුන්.....




දුම්රියේ ,බස්රියේ මඟතොටේ , කඩපිලේ බැලූ බැලූ සෑම අත මිනිසුන්ය ...මිනිසුන්ය ... හිස මුහුණු අත පයද විළි වැසුණු සළු පිළිද ගත වැසුණු ආභරණද මේ සියල් සපිරි රුව මිනිසුන්ය …… මිනිසුන්ය ….. එකිනෙකා පරයමින් ඇනකොටා ගනිමින්ද වහසිබස් දොඩමින්ද තණ්හාව පොඳි බඳි මිනිසුන්ය ….. මිනිසුන්ය ….. ආදරය කරුණාව හඳපුරා දරාගත
උනුන් සැම හා සෙනෙහසින් බැඳගත් මිනිසුන්ය ….. මිනිසුන්ය ….. මේ සැවොම සැබෙවින්ම මිනිස් වෙස් රුව දැරූ සැබෑ ලෙසම මිනිසුන්ද ……????????

සංකල්පනාව : නිපුනි නිශාදිනි
අවදිවවු තරැණයිනි


විවර කරවු දෙනෙත් කඩවු නිදි ගැට තවත් දිනක්‌ ඔබ අභියස පෙන්වවු ජවයේ විර්යය කිරණවවු පතළ ලෝසතනට අපේක්ෂා බර පොදිය දිග අරිවු මැළිි නොවවු දුරයා නොහැකියැයි නොබිදවවු පැතුම් පොදි දැය වෙනුවෙන් හෙළන දා බිඳු හෙට ලොව තනන බව අඳුනාවි .....
සංකල්පනාව : නිපුනි නිශාදිනි

Sunday, July 17, 2016

අවදානමට  පෙර  සූදානම



                      2012 වර්ෂයෙන් පසු  ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් වාර්තා නොවූ  බව සෞඛය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලෝක සෞඛය සංවිධානයට දැනුම් දෙන ලදි.ඉන් අනතුරුව ශ්‍රී ලංකාව මැලේරිය රෝගය තුරන් කළ රටක් බව ලෝකය හමුවේ සනාථ කරන සහතිකය දීම සදහා  ලෝක සෞඛය සංවිධානයේ විශේෂ  පරීක්ෂණ කණ්ඩායමක්  අප  රටට පැමිණීමට නියමිතය.දීර්ඝ කාලයක් මැලේරියා මර්ධනය සදහා කැප වුනු අපට එය ජයග්‍රහණයකි.

                  නමුත් මෑතකදී සෞඛය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය උත්සන්නව ඇති බවයි.ඩෙංගු ලෙස සැක කෙරෙන රෝගීන් 20000ක් පමණ රෝහල් ගතව සිටින බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.බස්නාහිර පළාතේ එම රෝගය තදින් පැතිර යමින් තිබේ.පසුගිය වකවනුව තුළ ඇඳ වැටුනු ධාරාණිපාත වර්ෂාවෙන් අනතුරුව අරණායක කඳුයායක් සමතළා විය.ඉන් සිය ගණනක්  මිනිස්සු උන් හිටි තැන්වලම පස් යට සැඟව ගියේ පණ ඇති වූවන්ගේ හදවත් කම්පා කරවමිනි.ඉන් පසුව යුද හමුදා කඳවුරේ ඇති  වූ  පිපිරීමෙන්  ඒ  අවට ජනතාවගේ ජන ජීවිතයට ඇතිකළ බලපෑම සුලුපටු නොවේ.

                  අවාසනාවේ සේයාව යන්තමින් අඩු  වූවා පමණි.යළිත් ඩෙංගු මාරයා හිස ඔසවන්නට විය.ඩෙංගු යළිත් ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධාන කාරණා කිහිපයකි.පසුගිය කාලයේ නොනවත්වා ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව ඒ අතර ප්‍රධාන වේ.අනික් කරුණ වන්නේ  මිනිස් ක්‍රියාකාරකම්ය.

                 මේ සියල්ලටම හේතුව යම් භයානක තත්වයක් පිලිබදව දැනුවත් වන මුල් කාලයේ ඒ පිළිබඳව විමර්ශණශීලී වූවද නිමේශයෙන් ඒ සියල්ල අමතක වන ගතියක් ශ්‍රී ලාංකිකයන් සතු වීමයි.

               ඩෙංගු මාරාන්තික බව ඉකුත් වසර කිහිපය තුළින්ම ඔප්පු විය.එම නිසා යළිත් ඩෙංගු හිස ඔස වීම වැළැක්විය යුතුය.ඩෙංගු මදුරුවා පළවා හැරීමේ මෙහෙයුම දියත් කළ යුතුය.මෙහිදී වන්දි ගෙවීමට සිදුවන්නේ හුදකලාවේ එක් එක් පුද්ගලයාට නොව මුලු මහත් සමාජයටමය.ඒ නිසා අපි යළිත් සහය වෙමු.සෞඛය බලධාරීන්ගේ අවධානය හා උපදෙස් පමණක් නොව පොදු මහජනතාවගේ අවධානයද එහිලා අත්‍යාවශ්‍ය බව සිහිපත් කරමු.එහෙයින්  අවදානමට පෙර සූදානම් වෙමු.


සටහන : තිළිණි  සඳරේඛා  

Friday, July 15, 2016



ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව මුහුණුවරක්



ආර්ථික වශයෙන් සහ වෙළද මධ්යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට යුරෝපය චීනය ඉන්දියාව හා සිංගප්පූරුව ඒකාබද්ධ කරමින් එකම ආර්ථික කලාපයක්ප්‍ රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.



ශ්‍රී ලංකාවේ ඉතිහාසයට අනුව වර්ෂ එක්දහස්එකසිය ගණන් වල සිටම ගණුදෙනු මද්‍යස්ථානයක් විය . ඒ අනුව මේ නව ආර්ථික කලාප පිහිටුවීමේ සංකල්පය කලක් පැරණි අදහසක් ලෙස හදුනාගත හැකිය.ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව විවිධ විදේශිකයන් බඩුභාණ්ඩ හුවමාරුවට පැමිණීම ඈත අතීතයේ පටන් සිදුවිය. විවිධ ජාතිකයන් නැගෙනහිර සිට බටහිරට විවිධ භාණ්ඩහුවමාරු කළ අතර අපේ රට භාණ්ඩ හුවමාරු මද්‍යස්ථානයක් ලෙස වඩාත් විධිමත් කිරීමට අවශ්‍ය අවකාශ සකස් කිරීමේ කටයුතු වර්තමාන රජය විසින් සම්පාදනය කිරීමට සූදානම්ව ඇත.

එහි එක් පියවරක් ලෙස ජාත්යන්තර වශයෙන් ඇතිකර ගන්නා සම්බන්ධතාවන් දැක්විය හැක. පසුගිය සමයේ ආසියාවේ ආශ්චර්්ය පෙන්වීමට ගොස් හුදෙකලා රටක් බවට පත්වී තිබූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප කරමින් තිබූ සමයක පසුගිය වසර ජනවාරි 8 ඡන්දයෙන් පසුව අප්‍රසාදය අභිබවා ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

එහි ප්‍රතිඵල වශයෙන් වසර 27 කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීම සිදුවිය .ඇමරිකානු විදේශ ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් , ජී 7 නම් වූ ලෝකයේ ප්‍රබල රටවල් හතක් හමුවන සමුළුවට සහභාගිවීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටද ආරාධනා ලැබුණි.මීට පෙර කිසිදු අවස්ථාවක ජී 7 සමුළුවට පිටස්තර රටක නායකයෙකුට ආරාධනා ලැබී නැතිසේම, ශ්‍රී ලංකාවේ නායකයෙකු මේ සදහා ආරාධනා ලැබූ පළමු අවස්ථාවද විය . එයින් පෙනීයන්නේ අපේ රටට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී ඇති අයුරුයි.

අපේ රට වෙළද මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේදී නීතිමය ස්වාධීනත්වය ද බෙහෙවින් බලපාන කරුණකි .ඒසදහා පළුදු වී තිබූ විශ්වාසය යළි ගොඩනගා ගැනිමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව සැලසී ඇත . කලක් රටේ නීතිය හරිආකාරව ක්‍රියාත්මක නොවීම වැරදිකරුවන් සදහා නීතිය සහ දඩුවම් ක්‍රියාත්මක නොවීම අධිකරණයට බලපෑම්කිරීම යනාදිය පිළිබද ව ශ්‍රී ලංකාවට විශාල කැළලක් ඇති වී තිබුණි.

ඊට අමතරව ගුවන් සහ වරාය සේවාවන් ද විධිමත් කිරීමට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත. එහිදී අපේ ගුවන්තොටුපළට දෙවැනි ගුවන් පථයක් ද එක් කෙරේ. කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධනයට වසර ම 10 ක සැලැස්මක් ඉදිරිපත් වී ඇත.දැනට වසරකට මගීන්ම මිලියන 12 ක් පමණ කටුනායක ගුවන්තොටුපල පරිහරණය කරනු ලබයි.එම ප්‍රමාණය මගීන් මිලියන 40 ක් දක්වා වැඩි කිරීමට සැලසුම්කර ඇත.ඊට අමතරව අභ්‍යන්තර ගුවන්සේවා වර්ධනය කිරීමට ද නියමිතව ඇත.

කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන පුද්ගලයන් එතැනින් මෙරට තුල තමාට අවශ්‍යය ස්ථානය ට යාමට ගුවන්යානා පහසුකම සැලසේ.වරාය සංවර්ධන වැඩපිළිවලේදී කොළඹ වරාය දියුණු කිරීමටත් වරාය නගර පිහිටුවීමටත් පරිසරයට හානි නොවන ආකාරයෙන් එම නගර සැළසුම් ක්‍රියාත්මක කිරීමත් දකුණු ආසියාවේ කාර්යක්ෂම වරාය ලෙස තවදුරටත් කොළඹ වරාය ප්‍රබල දියුණු කරා ගෙන යාමත් දැනට පවතින ඉදිරි සැලසුම් වේ.
සටහන :ජීවන්ති නයනිකා

යහපත් සමාජයකට……

                       මව් කුසක් තුළ පිළසිඳගත් කළලයක් දස මාසයක් ගෙවා දමමින් මෙම ධරණීයතලයට පිවිසෙනුයේ කිසිවක් නොදත් දරුවකු ලෙසයි.එම ඉපදෙන බිළිඳා අනාගතයේදී යහපත් හෝ අයහපත් පුරවැසියකු වීමට බලපානුයේ මෙම සමාජ තලයේම ක්‍රියාකාරකම්ය.යහපත් සමාජ තලයක එම බිළිඳා ඉපදෙයි නම්  ඒකාන්තයෙන්ම  යහපත් පුරවැසියකු වනු නොඅනුමානය.එහෙත් අද සමාජය දිවයන්නෙ කෙබඳු පැතිකඩක් හරහාද?

                          සියල්ල මුදල් මත තීරණය වන සමාජයක මනුෂ්‍යත්වය සැඟවී ගොස් ඇත.පරාර්ථය යටපත්ව ආත්මාර්ථය ඉස්මතුව ඇත.සමාජයේ අත්තිවාරම මුදල් බවට පත්ව ඇත.ගමයි පන්සලෙයි බැඳියාව බිඳී ගොස් ඇත.පොහෝ දිනකදී පන්සලට ගොස් මලක් පහනක් පුදා බුදුන් වැඳීමට මිනිස්සුන්ට අමතකව ඇත.ලොව අද විශ්ව පවුලකි.නමුත් එකී සංකල්පය තුල මව් පිය දූ දරු සබඳතා වියකී ගොස් ඇත.එබඳු වාතාවරණයක් තුළ ඉපදෙන දරුවන් යහපත් පුරවැසියන් වන්නේ කෙසේද? කකුළුවන් ඇඳේට යද්දී කකුළු පැටවුන්ට කෙළින් යන්න යැයි කීම  විහිළුවකි.

                     එසේ නම් දෙනෙත් හැර බැලිය යුතු කාලය එළබ ඇත.අපට ලොවක් හැදිය නොහැකි බව සැබෑවකි.නමුත් තමා තුළ ගුණදහම් ගොඩ නඟා ගත හැකිය.අඳුරේ සිට අඳුරට දොස් නඟනවාට වඩා එක පහනක් හෝ දැල්විය යුතුමය.එවිට දැල්වූ පහනින් පහන් සිය දහස් ගණනක් දැල්වීමට හැකි වනු ඇත.ඔබ ඔබ තුළින්ම ලෝකය ජයගන්න උත්සකුවන්නේ නම් නිසැකවම ජයග්‍රහණයේ උරුමකරුවකු වනු ඇත.තමා තමන් තුළම ගුණදහම් ගොඩනගන්නේ නම් මුලු මහත් සමාජයම මනුෂ්‍යත්වයේ සුවදීන් සුගන්ධවත් වනු ඇත.එවිට කොළොම් තොටින් එදා නැව් නැග ගිය අපේ මිනිසත් බව යළි මේ සමාජය තුළ ස්ථාපිත වනු ඇත.ඒ මනුෂ්‍යත්වය මේ සමාජයම සුවඳවත් කරනු ඇත .

සටහන : චතුරිකා කුරේ



තාත්තා ගෙදර ඇවිත්…
ඇඳන් හැඩවැඩ කලු කබායක් දමාගෙන කරේ ටයි එකක්… රූං කියලා කාර් එකකින් යන්න රස්සාවක් නැතේ…. දවල් වරුවට කන්න කියලා අම්මා දුන්නේ බත් පුතේ … අලයි සම්බෝලයි බතුයි කෑවෙ මන් හිතකින් නොවේ... හවස ගෙදරට එද්දි තේ එක ළඟට අවේ නෑ පුතේ … අම්මා තව නෑ නියිට් ඩියුටි ද උට කිව්වද මගෙ පුතේ…. ලොක්කි කෝ දැන් කොහෙද බලපන් පොඩ්ඩි අඬනවා කාමරේ.... අක්කා තාමත් කියවනවදෝ බැන්නෙ මන් හිතකින් නොවේ…. අතේ සතේ නෑ වැඩක් හෙට නෑ කරුමෙ අපෙ මේ මගෙ පුතේ.... රන්මසු පටපිළි අප හා උරණ නැත එනමුත් ගන්න හැකියාවක් මෙමට නැත…. සමන් පිච්ච කැකුළිගෙ රුව යසට ඇත හිතට බයයි කලු දෙබරුන් හතර වට.... දුප්පත් අපිට නැති හින්දා වරදිනවා පොතේ අකුරු උඹ දිහාට හිනැහෙනවා …. මගේ හීනෙ ගෙයි මුල්ලෙම මියැදෙනවා ඒත් පුතේ උවසක රජ වෙනවා….

සංකල්පනාව ;
නුවනි සඳලංකා