Sunday, July 17, 2016

අවදානමට  පෙර  සූදානම



                      2012 වර්ෂයෙන් පසු  ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් වාර්තා නොවූ  බව සෞඛය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලෝක සෞඛය සංවිධානයට දැනුම් දෙන ලදි.ඉන් අනතුරුව ශ්‍රී ලංකාව මැලේරිය රෝගය තුරන් කළ රටක් බව ලෝකය හමුවේ සනාථ කරන සහතිකය දීම සදහා  ලෝක සෞඛය සංවිධානයේ විශේෂ  පරීක්ෂණ කණ්ඩායමක්  අප  රටට පැමිණීමට නියමිතය.දීර්ඝ කාලයක් මැලේරියා මර්ධනය සදහා කැප වුනු අපට එය ජයග්‍රහණයකි.

                  නමුත් මෑතකදී සෞඛය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය උත්සන්නව ඇති බවයි.ඩෙංගු ලෙස සැක කෙරෙන රෝගීන් 20000ක් පමණ රෝහල් ගතව සිටින බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.බස්නාහිර පළාතේ එම රෝගය තදින් පැතිර යමින් තිබේ.පසුගිය වකවනුව තුළ ඇඳ වැටුනු ධාරාණිපාත වර්ෂාවෙන් අනතුරුව අරණායක කඳුයායක් සමතළා විය.ඉන් සිය ගණනක්  මිනිස්සු උන් හිටි තැන්වලම පස් යට සැඟව ගියේ පණ ඇති වූවන්ගේ හදවත් කම්පා කරවමිනි.ඉන් පසුව යුද හමුදා කඳවුරේ ඇති  වූ  පිපිරීමෙන්  ඒ  අවට ජනතාවගේ ජන ජීවිතයට ඇතිකළ බලපෑම සුලුපටු නොවේ.

                  අවාසනාවේ සේයාව යන්තමින් අඩු  වූවා පමණි.යළිත් ඩෙංගු මාරයා හිස ඔසවන්නට විය.ඩෙංගු යළිත් ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධාන කාරණා කිහිපයකි.පසුගිය කාලයේ නොනවත්වා ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව ඒ අතර ප්‍රධාන වේ.අනික් කරුණ වන්නේ  මිනිස් ක්‍රියාකාරකම්ය.

                 මේ සියල්ලටම හේතුව යම් භයානක තත්වයක් පිලිබදව දැනුවත් වන මුල් කාලයේ ඒ පිළිබඳව විමර්ශණශීලී වූවද නිමේශයෙන් ඒ සියල්ල අමතක වන ගතියක් ශ්‍රී ලාංකිකයන් සතු වීමයි.

               ඩෙංගු මාරාන්තික බව ඉකුත් වසර කිහිපය තුළින්ම ඔප්පු විය.එම නිසා යළිත් ඩෙංගු හිස ඔස වීම වැළැක්විය යුතුය.ඩෙංගු මදුරුවා පළවා හැරීමේ මෙහෙයුම දියත් කළ යුතුය.මෙහිදී වන්දි ගෙවීමට සිදුවන්නේ හුදකලාවේ එක් එක් පුද්ගලයාට නොව මුලු මහත් සමාජයටමය.ඒ නිසා අපි යළිත් සහය වෙමු.සෞඛය බලධාරීන්ගේ අවධානය හා උපදෙස් පමණක් නොව පොදු මහජනතාවගේ අවධානයද එහිලා අත්‍යාවශ්‍ය බව සිහිපත් කරමු.එහෙයින්  අවදානමට පෙර සූදානම් වෙමු.


සටහන : තිළිණි  සඳරේඛා  

No comments:

Post a Comment